Sri Lanka

දිමුත්ට වාර්තාව අහිමිවෙයි

දිමුත්ට වාර්තාව අහිමිවෙයි

30/11/2021, Sri Lanka, Cricket, Sri Lanka Cricket, Article # 30540829

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 55 ක් අහිමිවූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට පන්දුවට පහර දෙමින් සිටින සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 113 ක් ලබා සිටියේය. සෝබර්ස් – තිසේරා කුසලාන තරගාවලියේ තරගයක් වන මෙම තරගය නිමාවට පත් කරන විට පැතුම් නිස්සංක නොදැවී ලකුණු 61 ක්ද ඕෂද ප්‍රනාන්දු ලකුණු 02 ක්ද ලබා සිටියහ.

පුරා හෝරා 4 කට ආසන්න කාලයක් තරගයට අහිමිවුණු පළමු දිනයේදී තරග ආරම්භය ප.ව. 3 දක්වා කල් දැමීමට විනිසුරුවන්ට සිදුවිය. ආරම්භයේ සිටම ඉතාමත් විශ්වාසයෙන් යුතුව පන්දුවට පහර එල්ල කල නායක දිමුත් සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක ශක්තිමත් අඩිතාලමක් එක් කළහ. ලෝක වාර්තාවක් සම කිරීමට ලකුණු 08 ක් අවශ්‍යව තිබියදී දිමුත් කරුණාරත්න ලකුණු 42 කට දැවී ගියේය. පන්දු 109 කට මුහුණ දුන් පැතුම් තම ඉනිම හතරේ පහර 4 කින් සහ හයේ පහරකින් අලංකාර කරගත්තේය.

මෙම තරගයේදී තවත් ලකුණු 8 ක් ලබා ගැනීමට දිමුත් සමත්වූයේ නම් පිට පිට ඉනිම 7 කදී ලකුණු 50 ක් හෝ ඊට වඩා වැඩියෙන් ලබාගත් පිතිකරුවන් අතරට ඇතුළත්ව ලෝක වාර්තාවක් සම කිරීමට නායක දිමුත්ට අවස්ථාව තිබිණ. හේ අවසන් ඉනිම 6 දී ලකුණු 733 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 122.16 ක් රඳවා ගනිමිනි. ඔහුගේ අවසන් ඉනිම 6, 75, 244, 118, 66, 147 සහ 83 ක් ලෙසින් සටහන් විය.

රොස්ටන් චේස්ගේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් දී දිමුත් දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේදී චරිත් අසලංකට ටෙස්ට් හිස්වැස්ම පැළඳවීමට කටයුතු යොදාන ලදී. පළමු තරගයට ක්‍රීඩා කරන ලද දුෂ්මන්ත චමීර මෙම තරගයේදී විවේක ගන්වමින් එම ස්ථානය සඳහා අසලංකව කැඳවා තිබුණි.

පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනාගත්තද එහෙත් පන්දුව හිසේ වැදීඹ නිසා කම්පනයට පත්ව තරගයෙන් ඉවත්වූ ජෙරමි සොලොසෝනෝට අද තරගයේ ස්ථානය අහිමිව තිබුණි. ඔහු වෙනුවට කණ්ඩායමට එක් කළ ෂායි හෝප් අද තරගයේදී නිල ලත් ක්‍රීඩකයින් 11 දෙනා අතරට පැමිණ සිටියේය. මීට අමතරව කොදෙව් පිල මෙම තරගයට රකීම් කෝන්වෝල් සහ ෂැනන් ගේබ්‍රියල් වෙනුවට වීරසාමි පෙරුමාල් සහ කෙමාර් රෝච් සමඟ අවතීර්ණව සිටිති.   හෙට තරගයේ දෙවැනි දිනයයි.  

The post දිමුත්ට වාර්තාව අහිමිවෙයි appeared first on Sri Lanka Cricket.



https://srilankacricket.lk/2021/11/%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b6%a7-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b7%80%e0%b7%99%e0%b6%ba/
පිතිකරුවකු එක්කර ගැනීමේ සූදානමක්

පිතිකරුවකු එක්කර ගැනීමේ සූදානමක්

29/11/2021, Sri Lanka, Cricket, Sri Lanka Cricket, Article # 30540830

කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි සටන පිවිසීමට පෙර ශ්‍රී ලංකා පිල තවත් පිතිකරුවකුගේ සේවය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. උක්ත තීරණයත් සමඟ නොවැම්බර් 30 වැනිදා ගාල්ල ජාත්‍යන්තර පිටියේම ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසුණහොත් නිසැකයෙන්ම චරිත් අසලංකට දෙවැනි තරගයේදී ටෙස්ට් හිස්වැස්ම පැළඳීමේ අවස්ථාව උදාවනු ඇත.

පළමු ටෙස්ට් තරගයේදී කොදෙව් කණ්ඩායමේ බිඳ වැටුණු කඩුලු 20 න් 19 ක්ම දවා ගැනීමට සමත් වූයේ දඟ පන්දු යවන්නන් විසිනි. ඉනිම දෙකේදීම වේග පන්දු යවන්නන් වූ සුරග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර යැවූයේ පන්දුවාර 18 ක් පමණි. එය සමස්ථ තරගයේ යැවුණු පන්දුවාර 165 න් 10% ක අගයකි. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් සැලසුම් සකස් කරන ශ්‍රී ලංකා කණ්ඩායම, වේග පන්දු යවන්නකුගේ දැඩි අවශ්‍යතාවයක් නොමැත.

ගාල්ල තණතීරුවේ ජයග්‍රහණය සඳහා සෘජුවම බලපාන සාධකයක් වන්නේ කාසියේ වාසියයි. එය හිමිවන කණ්ඩායමට ජය ගැනීමේ වැඩි ඉඩ කඩක් පවතියි. කාසියේ වාසිය දෙපිළටම 50% කි. එය හිමිවීමටත්  අහිමිවීමටත් පුලුවන. කාසියේ වාසිය අහිමි වුවත් ඒ සඳහා අතිරේක සැලසුමක් ලෙසින් සිව්වැනි ඉනිමේ හඹා යෑමේ සඳහා ශ්‍රී ලංකාව සතුව උපාය වන්නේ තවත් පිතිකරුවකුව ක්‍රීඩා කරන 11 දෙනා අතරට රිංගවීමය.

එසේ වුවහොත් වේග පන්දු යවන්නකු ලෙස පන්දුවාර කීපයක් යැවීමට ඇන්ජලෝ මැතිව්ස්ට සිදුවනු ඇත. තුන් ඉරියව් ක්‍රීඩකයකු වුවත් මැතිව්ස් කාලයක් තිස්සේ පන්දු යැවීමෙන් වැළකී සිටියේය. සිය කලවයේ පවතින මස් පිඩු ආබාධය හේතුවෙන් ඔහු එම තීරණයේ සිටියේය. එහෙත් කණ්ඩායමේ සමබර තාවය සකසා ගැනීම සඳහා මැතිව්ස්ට පන්දුවාර කීපයක් යැවීමේ වගකීම හිමිවනු ඇත. පළමු තරගයේදී පන්දුවාර 12 ක් යැවූ දුෂ්මන්ත චමීරට විවේකයක් ලබාදීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙන බැවින් ඔහුව සංචිතයෙන් මුදා හැර තිබේ.

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වන්නේ දෙවැනි ටෙස්ට් තරගයත් ජය ගනිමින් ටෙස්ට් ලෝක ශූරතාවලිය සඳහා සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 24 දක්වා වැඩි කර ගැනීමටය. පළමු තරගයේ ක්‍රීඩා කල විලාශය අනුව ශ්‍රී ලංකාවට මෙම තරගයද පහසුවෙන්ම ජය ගත හැකිය. ගැටලුවක් ඇත්නම් ඒ වර්ෂාවෙන් සිදුවිය හැකි බලපෑම පමණි.

The post පිතිකරුවකු එක්කර ගැනීමේ සූදානමක් appeared first on Sri Lanka Cricket.



https://srilankacricket.lk/2021/11/%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%94-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b7%9a/
කොරෝනා බලපෑමෙන් කාන්තා පිලට ලෝක කුසල?

කොරෝනා බලපෑමෙන් කාන්තා පිලට ලෝක කුසල?

29/11/2021, Sri Lanka, Cricket, Sri Lanka Cricket, Article # 30540831

සිම්බාබ්වේහි පැවැත්වෙමින් තිබූ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අත මඟ නතර කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව සෙනසුරාදා (27 දා) තීරණය කළේය. දකුණු අප්‍රිකාවෙන් සොයා ගන්නා ලද කොරෝනා වෛරසයේ නවතම ප්‍රභේදයෙන් ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා අප්‍රිකානු රටවලට පනවා ඇති සංචරණ නීති හේතුවෙන් තරගාවලිය අතර මඟ නතර කිරීමට හේතු වී තිබේ.

තරගාවලියට සහභාගිවී සිටින චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් 23 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 82 ක ජයක් වාර්තා කළේය. ප්‍රසාද ලකුණු 2 ක්ද සමඟින් 0.95 ක දළ ලකුණු වේගයක් රඳවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට නොමැත.

කණ්ඩායම් 9 ක තරගාවලියක් ලෙසින් පැවැති මෙම තරගාවලියේ 2022 වසරේ මාර්තු මසදී නවසීළන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 3 ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්විණි. තරගාවලිය අතරමඟදී අත හැර දැමීමට සිදුවීම හේතුවෙන් තරගාවලියේ කොන්දේසියට අනුව ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටි කණ්ඩායම් 3 ඒ සඳහා තෝරා ගෙන තිබේ.  බංග්ලාදේශය, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් එම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටිති.

ශ්‍රී ලංකා පිලට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගය ආරම්භ වීමට හෝරා කීපයකට පෙර ශ්‍රී ලංකා පිලේ සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයකුද කොවිඩ් වෛරසය ආසාධනය වී තිබෙන බව දැනගත් වහාම එම තරගය අවලංගු කර දැමීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කළ බව ඒ පිළිබඳව නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කර තිබේ.

The post කොරෝනා බලපෑමෙන් කාන්තා පිලට ලෝක කුසලාන ගමන ඇහිරෙයි appeared first on Sri Lanka Cricket.



https://srilankacricket.lk/2021/11/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b4%e0%b7%91%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b4/
රටේ ක්‍රිකට් දියුණු වෙන්න LPL වලින් වුණ?

රටේ ක්‍රිකට් දියුණු වෙන්න LPL වලින් වුණ?

27/11/2021, Sri Lanka, Cricket, Sri Lanka Cricket, Article # 30540832

මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලෝක මට්ටමේ තරගාවලිවලට සහභාගිවීම සඳහා සාර්ථක වේදිකාවක් නිර්මාණය කරදීමට පළමු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදීම හැකියාව ලැබුණු බව සඳහන් කර සිටින එහි තරගාවලි අධ්‍යක්ෂක,  ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, වර්තමාන කණ්ඩායම ලබා සිටින සීඝ්‍ර දියුණුවටද එය මහත් ලෙස උපකාරී වී තිබෙන බව සඳහන් කර සිටියි.

පළමු තරගාවලියට වඩා දෙසැම්බර් මස 05 වැනිදා ආරම්භ වන දෙවැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහත් වෙහෙසක් දරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

“මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අපේ ක්‍රීඩා අමාත්‍යවරයාට සහ රජයට. මෙම තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා සෑම අවස්ථාවකම ඔවුන්ගේ උපරිම සහයෝගය සහ අනුග්‍රහය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත  ලබා දුන්නා. අපි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියරේ දී ඉතාමත් සාර්ථක වුනා. ඔබ දැක්කොත් නවක ක්‍රීඩකයන් 12ක් වගේ ප්‍රමාණයකට විදෙස් ලීග් තරගාවලිවලට එක්වෙන්න අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අතර ඉන්න ගොඩක් ක්‍රීඩකයින් හඳුනා ගනු ලැබුවේ පළමු එල්.පී.එල්. තරගාවලියෙදි” යැයි සඳහන් කර සිටින ක්‍රිකට් උප සභාපතිවරයා, “ඒ ගැන  මම ආඩම්බරයෙන් කියනවා” යැයිද සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, අයි.පී.ජී. සමාගම සමඟ එක්ව සංවිධානය කරන ලද පළමු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දේශීය ක්‍රිකට් තලයේ දක්ෂතා සහිත ක්‍රීඩකයින් ගණනාවක් හඳුනා ගැනීමට අවස්ථාව උදාවිය. ජාතික තලයේ පසුවන වනිඳු හසරංගටද ලොව පළමු මට්ටමේ ලීග් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවධානය යොමු වීමද ආරම්භ වූයේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙන්නුම් කරන ලද දක්ෂතා හරහාය. වනිඳුට අමතරව මහීෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග සහ අෂේන් බණ්ඩාර වැන්නන්ට සිය දක්ෂතා පෙන්වීමට එල්.පී.එල්. පළමුවැන්න සාර්ථක තෝ තැන්නක් බවට පත්විය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය, පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලිය, කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ අබුඩාබි ටී10 තරගාවලිය ඉන් විශේෂිත තරගාවලි වේ.

දෙසැම්බර් මස 05 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් දෙවැනි තරගාවලියේ නිල තේමා ගීතය එළිදැක්වීමේ උත්සවයට සහභාගිවෙමින් තරගාවලි අධ්‍යක්ෂක වික්‍රමරත්න මහතා මෙම අදහස් පළ කර සිටියේය. එම අවස්ථාවට වික්‍රමරත්න මහතාට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් සහ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක IPG සමූහ ව්‍යාපාරයේ ප්‍රධානී අනිල් මොහාන් මහත්වරුන් ද එක්ව සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි වික්‍රමරත්න මහතා. “මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දෙස් විදෙස් හි ප්‍රබල ක්‍රීඩකයන් සමඟින් ක්‍රීඩා කරමින් ඔවුන්ට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා විලාශයන් හඳුනා ගැනීමට අවස්ථාව හිමි වුණා. ඒ ඔස්සේ ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට ගොඩක් ක්‍රීඩකයින් අවස්ථාව උදා වුණා. කළින් කිව්වා වගේ අපිට පුළුවන් වුනා මේ තරගාවලිය හරහා අපේ ක්‍රීඩකයන්ට ලෝක මට්ටමේ තරගාවලියකට සහභාගී වෙලා සාර්ථක වෙන්න පුළුවන් වේදිකාවක් නිර්මාණය කරන්න” යි වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි.

මෙවර තරගාවලිය පසුගිය වසරට වඩා වෙනස් මුහුණුවරක් ගන්නා අතර එයට නව පිළිමළුන් පිටුදැකීමේ තරගයක් ද ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. පසුගිය වසරේ පරිදිම මෙවර තරගාවලියේද කණ්ඩායම් 5ක් තරග වදින අතර තරගාවලිය සමස්ථ තරග 25කින් සමන්විත වේ.

“පසුගිය වසරේ දී අපි අවසන් පූර්ව තරග දෙකක් ක්‍රීඩා කළා. අපිට මේ වසරේ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් යෝජනාවක් ආවා තවත් තරගයක් ක්‍රීඩා කරමු කියලා. ඒකට ප්‍රධාන හේතුව වුනේ පසුගිය වසරේ තරගාවලියේ දී කොළඹ කණ්ඩායම තරග රැසක් ක්‍රීඩා කරලා අවසන් පූර්ව තරගය පරාජය වීම නිසා තරගාවලියෙන් ඉවත් වීම. මේ නිසා අපි තවත් තරගයක් එක් කළා. අපි දැක්කා මේ වසරේ දී විදෙස් ක්‍රීඩකයන් රැසක් තරගාවලියට එක්වෙන්න සූදානමින් හිටියා. මේ තරගාවලිය දවසින් දවස විශාල වෙනවා කියන එකට ඒක සාක්ෂි සපයනවා”යි වික්‍රමරත්න මහතා කියයි.

තරගාවලියේ සංවිධාන කටයුතු භාරව සිටින අයි.පී.ජී. සමූහයේ ප්‍රධානී අනිල් මොහාන් මහතාද අදහස් දක්වමින්, ආසියානු කළාපයේ මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එය යථාර්ථයක් බවට පත් කළ බව සඳහන් කර සිටියේය.

“ඇත්තෙන්ම මේක අමාරු කාලයක්. ඒත් අපිට හැමෝගෙන්ම සහයෝගය ලැබුණා. ඒ සහයෝගය එක්ක අපිට පුළුවන් වුනා මේ අමාරු අභියෝගය සාර්ථකව ඉස්සරහට අරන් යන්න. මේ තරගාවලිය සැලසුම් කරන ආකාරයට ම පවත්වන්න අපි අපේ උපරිම උත්සාහය ගන්නවා. විශේෂයෙන් අපිට සෞඛ්‍ය අමාත්‍යංශයේ, ක්‍රීඩා අමාත්‍යංශයේ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ මගේ කණ්ඩායම වෙන IPG කණ්ඩායමේ ලොකු සහයෝගයක් ලැබුණා” යැයිද ඒ මහතා සඳහන් කර සිටියේය.

මීට අමතරව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා ද අදහස් දක්වමින් සඳහන් කර සිටියේ තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය අත්වැල් බැඳගෙන සිටින බවද සඳහන් කර සිටියේය. “ක්‍රීඩා අමාත්‍යංශය මේ සඳහා අවශ්‍ය වෙන අත්වැල මේ වෙද්දීත් සපයමින් ඉන්නේ. ක්‍රීඩා අමාත්‍යතුමන්ගේ ඉඳලා අමාත්‍යංශයේ සියලුම දෙපාර්තමේන්තුවලට ලොකු අවබෝධයක් තියනවා ක්‍රිකට් ආයතන එක්ක” යනුවෙන් ලේකම්වරයා අදහස් දක්වා සිටියේය.  

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භව 23 වැනිදා අවසන් වීමට නියමිත වේ. තරගාවලියේ මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද අවසන් පූර්ව වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

The post රටේ ක්‍රිකට් දියුණු වෙන්න LPL වලින් වුණු සේවය appeared first on Sri Lanka Cricket.



https://srilankacricket.lk/2021/11/%e0%b6%bb%e0%b6%a7%e0%b7%9a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/
Daraz – එල්.පී.එල්.හි ඩිජිටල් සහකරු වෙයි

Daraz – එල්.පී.එල්.හි ඩිජිටල් සහකරු වෙයි

26/11/2021, Sri Lanka, Cricket, Sri Lanka Cricket, Article # 30540833

දෙවැනි වතාවට පැවැත්වෙන ‘ලංකා ප්‍රිමියර් ලීග් – 2021’ තරගාවලියේ සම අනුග්‍රාහකයකු ලෙස සහ සුවිශේෂී ඩිජිටල් ප්‍රවාහ සහකරු ලෙස Daraz ඉදිරිපත්ව සිටියි. දෙසැම්බර් 05 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ සහ හම්බන්තොටදී පැවැත්වෙන ‘LPL – 2021’ තරගාවලියේ සියළුම තරග ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කිසිම මුදල් අය කිරීමකින් තොරව ක්‍රීඩා ලෝලීන්ට සජීවීව ගෙන ඒමට Daraz කටයුතු යොදා තිබේ.

අන්තර්ජාලය මත පදනම්ව වෙළෙඳාම් සිදුකරන ලොව ප්‍රභල පෙළේ වාණිජ සමාගමක් වන Daraz ගෙවී ගිය සැප්තැම්බර් මාසයේදී ඩිජිටල් වේදිකාව වන Daraz Live දියත් කිරීමට පියවර ගනු ලැබීය. සජීවී ප්‍රවාහයක් ඇතුළත් ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාලය මත පදනම්ව වෙළෙඳාම් කෙරෙන මෘදුකාංකය වන්නේ Daraz  Live ඩිජිටල් වේදිකාව හැඳින්විය හැක.

තරග 24 කින් සමන්විත මෙවර තරගාවලියේදී කලම්බු ස්ටාර්ස්, දඹුල්ල ජයන්ට්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි වොරියර්ස් යන කණ්ඩායම් තරග වදිති. දේශීය ක්‍රීඩකයින්ට, පළපුරුදු ඇති දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩකයින් සමඟ එක්ව තරග වදිමින් සිය දක්ෂතා ඉහළ නංවා ගැනීමටත්, ඒ ඔස්සේ විස්සයි-20 කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමටත් මේ තරගාලියේදී අවස්ථාව උදාවනු ඇත.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වා සිටින Daraz Sri Lanka හි අළෙවි ප්‍රධානී හේෂාන් පෙරේරා මහතා, “ක්‍රිකට් ජාතියක් ලෙසින් හැඳින්වෙන ශ්‍රී ලංකාව සෑම තරාතිරමක අයගේ ගෞරවයට පාත්‍රවී සිටිනවා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සමඟ අපි හවුල්කරුවන් ලෙස කටයුතු කිරීමේදී අපගේ ගනුදෙනුකරුවන්ට සජීවී තරගයක විනෝදාස්වාදය ගෙන එනවා සේම ඔවුන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීමට අපට අවස්ථාව උදාවෙනවා. ඔවුන් ආදරය කරන ක්‍රීඩාව ඔවුන්ට වඩාත් සමීප මාධ්‍යයකින් නැරඹීමට අවස්ථාව සැලසීම හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් අපේ කැපවීමද පිළිබිඹු වෙනවා” යනුවෙනි.

“එල්.පී.එල්. තරගාවලියේ ඩිජිටල් ප්‍රවාහ සහකරු ලෙස Daraz සමඟ බෙදා ගැනීමට හැකිවීම ගැන අපි සතුටට පත් වෙනවා. Daraz සතුව දෛනික පරිශීලකයින් 350,000 කට අධික සංඛ්‍යාවක් සිටින අතර, මෙම හවුල්කාරීත්වය යටතේ එල්.පී.එල්. හි ශ්‍රී ලංකාව පුරා ඉහළ නරඹන්නන්ගේ ප්‍රවේශයක් ලබාගත හැකි වනු ඇතැයි අපිට විශ්වාසයි” යැයි තරගාවලි සංවිධායක ආයතනය වන අයි.පී.ජී. සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා සඳහන් කර සිටියේය.

The post Daraz – එල්.පී.එල්.හි ඩිජිටල් සහකරු වෙයි appeared first on Sri Lanka Cricket.



https://srilankacricket.lk/2021/11/daraz-%e0%b6%91%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b4%e0%b7%93-%e0%b6%91%e0%b6%bd%e0%b7%8a-%e0%b7%84%e0%b7%92-%e0%b6%a9%e0%b7%92%e0%b6%a2%e0%b7%92%e0%b6%a7%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b7%84%e0%b6%9a/
දිමුත්ගේ අනාගත අරමුණ

දිමුත්ගේ අනාගත අරමුණ

26/11/2021, Sri Lanka, Cricket, Sri Lanka Cricket, Article # 30540834

By Chamila Karawita

කොදෙව්වන්ට එරෙහිව වාර්තා කළ විශිෂ්ඨ තරග ජයග්‍රහණය පිටුපස සිටි දැවැන්ත චරිතය වූයේ නායක දිමුත් කරුණාරත්නය. පළමු ඉනිමේදී ලකුණු 147 ක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 83 ක් ලබා ගනිමින් කරුණාරත්න දක්වන ලද දක්ෂතාව නිසා දෙවැනි ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ පළමු තරගයෙන්ම ප්‍රසාද ලකුණු 12 ක් ලබාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී තිබේ. එම දක්ෂතාවය නිසාම පළමු ටෙස්ට් තරගයේ වීරයා සම්මානයෙන්ද අප කථා නායකයා පිදුම් ලැබීය.

මාස 8 කට ආසන්න කාලයකට පසු ජාත්‍යන්තර තරග පිටියට පිවිසියද කරුණාරත්න සිය සාර්ථකත්වය එලෙසම තබා ගැනීමට සමත්විය. ඒ නිසාම ඔහුට 2021 වසරේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දැන් හිමිව තිබේ. දිමුත් මේ වසරේදී රැස් කර ඇති ලකුණු සංඛඊ්‍යාව 854 කි. එබැවින් ඔහු දෙවැනි වන්නේ එංගලන්ත නායක ජෝ රූට් (1455) සහ ඉන්දියාවේ රෝහිත් ෂර්මා (906) ට පමණි. මෙහි විශේෂත්වය වන්නේ රූට් එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සඳහා ටෙස්ට් තරග 12 කටත් ෂර්මා 11 කටත් ක්‍රීඩා කර තිබීමය. මේ වසරේදී දිමුත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 6 කට පමණි. වැඩිම ලකුණු සාමාන්‍යයක් හිමි පිතිකරුවන් අතර ඉදිරියෙන්ම දිමුත් පසුවන්නේ (77.63) එබැවිනි.

ශ්‍රී ලංකාව ලද සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ක්‍රීඩා ලෝලීන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේ තමන්ටද අරමුණක් තිබෙන බවයි.

“අනිවාර්යයෙන්ම ටෙස්ට් ලකුණු 10000 ලබා ගැනීම තමයි මගේ ටාගට් එක වෙලා තියෙන්නේ. මං දන්නේ නෑ ඒකට කිට්ටු වෙන්න පුලුවන් වෙයිද කියලා. නමුත් ඒ ඉලක්කය හැම තිස්සෙම මගේ අරමුණු වල තියෙනවා” යනුවෙනි.

“ඒ වගේම ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කිරීමත් මගේ ඔළුවේ තියෙනවා. මේ යන රිද්මයේම ගියොත් මං හිතනවා ලකුණු 10,000 සීමාවට ළං කරන්න පුලුවන් කියලා” යැයි පවසන වමත් පිතිකරුවා, “මම කැමැතියි පියවරෙන් පියවර උඩට එන්න. සමහර වෙලාවට මැච් එක ඉවර වුණාම ගිහිං බලනවා මම දැන් ලංකාවේ කොතනද ඉන්නේ. තව කෙනෙක්ව පහුකරන්න තව කොච්චරක් උඩ යන්න ඕනද වගේ දේවල්. මම දන්නවා ලකුණු 100 ක් 150 ක් ගැහුවොත් එහෙම ලංකාවේ වැඩිම ලකුණු ලබාගෙන ඉන්න පිතිකරුවන් අතර තව තුන් හතර දෙනෙක්ව පාස් කරන්න පුලුවන් මට්ටමක ඉන්නවා කියලා. ඒ තැන්වලින් පොඩ්ඩ පොඩ්ඩ උඩට යන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. ඒ දේවල් මගේ දක්ෂතා ඉහළ දමා ගන්න මාව නිතරම දිරිමත් කරනවා” යැයි වැඩිදුරටත් පවසා සිටියේය.

ලොව අග්‍රගන්‍යයේ පිතිකරුවන් රැසක් ශ්‍රී ලංකාව බිහි කර ඇතත් ඉන් ටෙස්ට් ලකුණු දසදහසේ සීමාව පසු කිරීමට සමත්ව සිටින්නේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පමණි. අද නිමාවුණු තරගයේ රැස් කරන ලද ලකුණු 230 ත් සමඟ දිමුත්ගේ මුලු ලකුණු සංඛ්‍යාව 5406 ක් වී තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කර ඇති පිතිකරුවන් අතර 9 වැනි ස්ථානයේ පසුවන දිමුත්ට 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට අවශ්‍ය වන්නේ ලකුණු 96 ක් පමණි. ලබන 29 වැනිදා ඇරඹෙන දෙවැනි ටෙස්ට් තරගයේදී එම ලකුණු සංඛ්‍යාව රැස් කර ගැනීමට දිමුත්ට හැකියාව ලැබුණහොත් ඔහුට ඉදිරියෙන් සිටින තිලාන් සමරවීර (5462), ටී.එම්. ඩිල්ෂාන් (5492) සහ මාවන් අතපත්තු (5502) පසුකර යෑමේ අවස්ථාව පහසුවෙන්ම උදාවනු ඇත.

“ඇත්තම කියනවා නම් මේ ටෙස්ට් තරගයට පෙර මට පුහුණුවීම් වල හරියට නිරත වෙන්න බැරි වුණ නිසා මම ගොඩක් කණගාටුවට පත් වෙලා හිටියේ. මම පුහුණුවීම් කරන්න පටන් ගත්තේ ඔක්තෝම්බර් මාසේ ඉඳන්. ගොඩක්ම ෆිට්නස් පැත්ත තමයි මම සිදු කරේ. දක්ෂතා වැඩි දියුණු කර ගැනීමේ සැසි මට කරන්න හම්බ වුණේ අවස්ථා 5 ක් 6 ක් විතරයි. ඒ දවස් වල ගොඩක් වැස්ස හින්දා පුහුණුවීම් කරන්න වුණේ නෑ. දේශීය තරග තිබුණත් ඒවට ක්‍රීඩා කරන්න ලැබුණේත් නෑ. මගේ නමට පිටිපස්සේ ලකුණු තිබුණේ නෑ මේ තරගයට එන්න කළින්. හැබැයි මම මෙහෙට ආපු දවසේ ඉඳන් ගොඩක් ට්‍රේන් කළා. මහන්සි වුණා. ලකුණු නැති හින්දා හිතේ චකිතයක් තිබ්බා” යනුවෙන් මාස 8 කට ආසන්න කාලයකට පසු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරමින් ලකුණු අතරට පැමිණීමට හැකිවීම ගැන දිමුත් අදහස් දක්වා සිටියේය.

The post දිමුත්ගේ අනාගත අරමුණ appeared first on Sri Lanka Cricket.



https://srilankacricket.lk/2021/11/%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%ab/
ජැෆ්නා පිලේ දඟ පන්දු පුහුණුකරු තනතුර ?

ජැෆ්නා පිලේ දඟ පන්දු පුහුණුකරු තනතුර ?

26/11/2021, Sri Lanka, Cricket, Sri Lanka Cricket, Article # 30540835

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 3 කට සහ විස්සයි-20 තරගයකට ක්‍රීඩා කළ මුතුමුදලිගේ පුෂ්පකුමාර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබේ. ජැෆ්නා කිංග්ස් පිලේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි සචිත් පතිරණ අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කිරීමට නියමිතව සිටි බැවින් එම අවස්ථාව පුෂ්පකුමාරට හිමිව තිබේ.

කුවේට් රාජ්‍යයේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු සහ සංවර්ධන කළමනාකරු ලෙස කටයුතු කරන පුෂ්පකුමාර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙසින්ද කටයුතු කර තිබේ. කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපන හැදෑරූ පුෂ්පකුමාර 1999 වසරේදී දක්ෂතම පාසල් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් තේරී පත්වූවේය.

The post ජැෆ්නා පිලේ දඟ පන්දු පුහුණුකරු තනතුර මුතුමුදලිගේට appeared first on Sri Lanka Cricket.



https://srilankacricket.lk/2021/11/%e0%b6%a2%e0%b7%90%e0%b7%86%e0%b7%8a%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b4%e0%b7%92%e0%b6%bd%e0%b7%9a-%e0%b6%af%e0%b6%9f-%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%b4%e0%b7%94%e0%b7%84%e0%b7%94/
පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට සුප?

පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට සුප?

25/11/2021, Sri Lanka, Cricket, Sri Lanka Cricket, Article # 30540836

Chamila Karawita reporting from Galle

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පස්වැනි දිනය දක්වා දිඟ හැරුණු පළමු තරගයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව පැවැතියේ ප්‍රතිවාදීන්ගේ කඩුලු 4 ක් දවා ගැනීම පමණි. එය අත්පත් කර ගැනීමේදී පස්වැනි දිනය කොදෙව්වන්ට පමණක්ම එරෙහි සටනක් නොවූවේය. ‘වැස්ස වළාහක දෙවියන්’ සමඟද ශ්‍රී ලංකාවට ඔට්ටුවීමට සිදුවිය. ඒ සියල්ල පරදවා ‘සෝබර්ස් – තිසේරා’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 187 ක අති විශිෂ්ඨ ජයක් අද (25 දා) අත්කර ගත්තේය.

සැබැවින්ම එය ආශ්චර්යයකි. කොයි මොහොතේ හෝ පහළට ඇද හැළීමට මාන බලමින් උදෑසන සිටම වැහි වළාකුළින් බරව තිබූ ගාල්ල අහස් කුස, ලසිත් ඇඹුල්දෙණිය විසින් කොදෙව් ඉනිමේ අවසන් පිතිකරුවා වුණු ෂෙනන් ගේබ්‍රියල්ගේ කඩුල්ල දවා ගන්නා තෙක්ම කාරුණික වූවේය. කෙසේ වෙතත් ජයග්‍රහණය සමරා ක්‍රීඩකයින් පිටියෙන් ඉවතට ඒමට මත්තෙන්ම ගිගුරුම් සහිත වර්ෂාව ක්‍රීඩාංගණයට ඇද හැළුණේ ‘වැස්ස වළාහක දෙවියන්ද’ දිමුත් ඇතුළු පිරිවරේ ජයග්‍රහණයට ආශිර්වාදයක් වූ බවට ඉඟි ලබා දෙමිනි.

කෘමා බෝනාර් ශ්‍රී ලංකා ජයග්‍රහණය ප්‍රමාද කළ කොදෙව් ඉනිමේ ප්‍රධානියා විය. පන්දු 173 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි බෝනාර්, ලසිත් ඇඹුල්දෙණියගේ පස්වැනි කඩුල්ල වෙමින් ගේබ්‍රියල් දැවී යන විටත් ටෙස්ට් තරග දිවියේ තෙවැනි අර්ධ ශතකය (68) සම්පූර්ණ කර ගෙන සිටියේය. ලෝක ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ අංක 1 ස්ථානයට පැමිණීමට මාවත විවර කර දුන් මෙම ජයග්‍රහණයේදී කොදෙව් දෙවැනි ඉනිමද ලකුණු 160 දී නිමාවට පත්විය.

පස්වැනි දිනට අවතීර්ණ වද්දී කඩුලු 6 ක් දවා ගෙන සිටියද අවසන් කඩුලු 4 දවා ගැනීම සදහා පන්දුවාර 53.3 ක් යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සිදුවිය. තරග ආරම්භයේ සිට වඩාත් පරෙස්සම් සහගතව පන්දුවට පහර දුන් බෝනාර් සහ ජොෂුවා දා සිල්වා 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවයක් එක් කළහ. ඒ අතරතුර දවා ගැනීම සඳහා මොවුන් දෙපළම අවස්ථාව බැගින් ලබා දුන් නමුත් පැතුම් නිස්සංක අතින් එම වටිනා උඩ පන්දු ගිලිහී ගියේය.

කොදෙව් දෙවැනි ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 4 ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස්ට අද දිනයේදී එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි විය. ජොෂුවා ද සිල්වා ලබා දුන් උඩ පන්දුව ලෙග් ස්ලිප් ස්ථානයේ සිටි පැතුම් නිස්සංක අතින් ගිලිහී යෑම නිසා පළමු වතාවට කඩුලු 5 ක් දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස්ට තිබූ හොඳම අවස්ථාව අහිමි වූවේය.

එපමණක් නොව ලකුණු 23 දී නිමාවට පත්වන්නට තිබූ ජොෂුවාගේ ඉනිම තෙවැනි අර්ධ ශතකය දක්වා ඉහළ දමා ගැනීමට හැකියාව ලැබීමත් සහ තරගයේ ජයග්‍රහණය පමා වීමටත් හේතුකාරක විය. දිනයේ දැවී ගිය කඩුලු 4 න් 3 ක් දවා ගත් ලසිත් ඇඹුල්දෙණිය සිව්වැනි වතාවටත් කඩුලු 5 ක් දවා ගත්තේය. මෙම තරගයේදී කොදෙව් පිලේ දැවී ගිය කඩුලු 20 න් 19 ක්ම දඟ පන්දු යවන්නන් විසින් දවා ගනිද්දී ඉන් 18 ක් ප්‍රධානම දඟ පන්දු යවන්නන් තිදෙනා වන සහ මෙන්ඩිස් (7), ඇඹුල්දෙණිය (6) සහ ජයවික්‍රම (5) බෙදා ගත්හ.

එහෙත් දිවා ආහාරයට මිනිත්තු 25 කට පමණ පෙර ජොෂුවාව දවා ගැනීමත් සමඟ යළිත් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉතිරි කඩුලු 3 ම හෝරාවකට ආසන්න කාලයක් ඇතුළතදී දවා ගත්හ.

‘සෝබර්ස් – තිසේරා’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකා පිල පෙරමුණ ගෙන සිටියි. දෙරට අතර ක්‍රියාත්මක දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

The post පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් appeared first on Sri Lanka Cricket.



https://srilankacricket.lk/2021/11/%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%a7%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb/
කොදෙව් පිතිකරුවන් ආරක්ෂිත පිති ප්‍රහ

කොදෙව් පිතිකරුවන් ආරක්ෂිත පිති ප්‍රහ

25/11/2021, Sri Lanka, Cricket, Sri Lanka Cricket, Article # 30540837

Chamila Karawita reporting from Galle

ජයග්‍රහණය සඳහා කඩුලු 4 ක් පමණක් අවශ්‍යව තිබියදී පස්වැනි දිනය ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව් පිතිකරුවන්ගේ ආරස්ඛිත පිතිහරඹය හමුවේ දිවා ආහාරය වෙන තෙක්ම දවා ගැනීමට හැකියාව ලැබුණේ එක් කඩුල්ලක් පමණි. පෙ.ව. 9.45 ට ආරම්භ වුණු තරගයේදී පිටියට පිවිසි ජොෂුවා දා සිල්වා සහ කෘමා බෝනර් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවයක් පවත්වා ගනිද්දී ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවකින් අතශවශම කඩුල්ලක් වුණු ජොෂුවා දා සිල්වාගේ ඉනිම නිමාවට පත්විය.  පරාජයෙන් ගැලවීමේ සටනේදී තවත් ලකුණු 296 ක් පිටුපසින් සිට පස්වැනි දිනය ඇරැඹූ කොදෙව් කණ්ඩායම දිවා ආහාරයට තරගය නිමා කරද්දී කඩුලු 7 කට ලකුණු 125 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගත්හ.  

තරගය අතරතුරදී දවා ගැනීම් සඳහා අවස්ථා කීඵයක්ම බෝනර් සහ ජොෂුවා ලබා දුන්නද ඒ සියල්ලෙන් නිසි ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නෝ අසමත්වූහ. ගිලිහී ගිය උඩ පන්දු දෙකම පැතුම් නිස්සංක අතින් ගිලිහී ගියේය. ලෙග් ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටියදී රමේෂ් මෙන්ඩිස් එවන ලද පන්දුවකට ජොෂුවා එල්ල කළ පහර ලෙග් ස්ලිප් ස්ථානයේ සිටි පැතුම් වෙත උඩ පන්දුවක් ලෙසින් ඇදී ගියද එය රැක ගැනීමට ඔහු අසමත් වූවේය. ලකුණු 23 දී නිමා වන්නට තිබුණු ජොෂුවා ඉන් වරම් ලබා ගනිමින් සිය තෙවැනි අර්ධ ශතකය අද දිනයේදී සම්පූර්ණ කර ගත්තේය.

එම උඩ පන්දු ගිලිහී යෑමෙන් පසු බොනාර් විසින් ලබා දුන් උඩ පන්දුවද සිලි පොයින්ට් ස්ථානයේදී පැතුම් අතින් මඟ හැරිණ. එම අවස්ථාවේදී බොනාර් ලකුණු 36 ක් ලබා සිටියේය. සිය සහායකයා දැවි ගියද දිවා විවේකය තෙක්ම සටන දියත් කළ බෝනාර්  ලකුණු 42 ක්ද පළමු ඉනිමේදී පසු පෙළින් සාර්ථක වුණු සද්දන්ත සිරුරැති රකීම් කෝන් වෝල් ලකුණු 05 ක් ලබා සිටියහ.

කොදෙව් පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා ශ්‍රී ලංකා නායකයා සුරංග ලක්මාල් හැර සෙසු සියලුම පන්දු යවන්නන් යොදා ගත් නමුත් කොදෙව් පිතිකරුවන්ගේ ආරක්ෂාකාරී පිති හරඹයත් ශ්‍රී ලංකා පිලේ දුර්වල පන්දු රැකීමත් හේතුවෙන් ඉලක්ක ගත අරමුණ වෙත යෑම මඟ හැරිණ.

The post කොදෙව් පිතිකරුවන් ආරක්ෂිත පිති ප්‍රහාරයක   appeared first on Sri Lanka Cricket.



https://srilankacricket.lk/2021/11/%e0%b6%9a%e0%b7%9c%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92/